Monday, May 16, 2016

පෘතුගීසින් මහනුවරට ආ රහස් පාර දිග
ගත්තේ මෙතනින්  http://www.lankadeepa.lk/articles/3234/

කැටවල කඩෙන් උදෑසනින්ම කටට හලාගත් තේ කහට උගුර අතර මග නැවතී පිට උගුරේ ගියේ කඩයේ හිමිකරු පැවසූ දෙයක් නිසාවෙනි. එවිටම කඩයේ තේ බොමින් සිටි අයකු මගේ පිටට පහර දෙකක් තුනක් ගැසුවේ සිදුවූ අපහසුතාවෙන් මා මුදවා ගැනීමට විය යුතුය.
මහත්තයාට තේරුනා ද මම කියාපු දෙය මුදලාලි නැවත පෙර ප‍්‍රශ්නයම මගෙන් අසයි, කඩයේ හුන් බහුතර පිරිස මා දෙස බලා සිටින්නේ මගේ පිළිතුර දෙසය.
අපි කොහොම හරි යන්න  ඕනි මුදලාලි මා පැවසීය. කිවුවහම නාහන ගුරු උඩින් ගියත් එකයි මහත්තයෝ යටින් ගියත් එකයි මුදලාලි පවසයි. ඉස්සර මිනිස්සු මේ පාරේ ගියාට දැන් පාර හොයා ගන්න එතරම් ලේසි නෑ අතර මග වල් අලි කරදරය ඊට වැඩියි අනෙක මහ කැලයේ නවතින්නේ කොහේද කන්නේ කොහොමද? කඩයේ හිමිකරුගෙන් ප‍්‍රශ්න වැලකි.
කමක් නෑ කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් ගිහින් එන්නම් එහෙ නම් මුදලාලි නැවත පැවසුවත් එම වදන් අප වෙත දයානු කම්පාවෙන්ම පැවසූ වදන් යයි සිතින. ඒ මීට හෝරා කිහිපයකට පෙර සිදුවීමකි. අප කැටවල හන්දිය පසු කරමින් බොහෝ වේලාවක් ගමන්කර ඇත.
අපි ඉපැරණි බදුල්ල නුවර මාර්ගය ඔස්සේ නුවර දෙසට ගමන් කරමින් සිටිමු.
මා සමග පරිසර විද්‍යාඥ ආචාර්ය බන්දුල මැද්දදුවගේ මහතා ද මෙම ගමනට එක්ව සිටි අප දෙදෙනා එක්ව ලංකාවේ බොහෝ ප‍්‍රදේශයන්හි වනාන්තරවල කරක් ගසා ලබාගත් අනේක විධ අත්දැකීම් මෙම ගමනට ප‍්‍රයෝජනවත් විය. උතුරු ප‍්‍රදේශය සම්පූර්ණයෙන් ත‍්‍රස්තයන්ගෙන් මුදාගත්තායින් පසු මාදුරුඔය වේල්ලේ සිට තොප්පිගල පාමුලට මහවැලියේ පිරිස සමගින් ප‍්‍රථමයෙන් ගියේ අප දෙදෙනාය. (2009-11-01 ඉරිදා ලංකාදීපයේ පළ විය.) එමෙන්ම මහවැලි නදියට සමාන්තරව මාවිල් ආරු ප‍්‍රදේශය පසුකරමින් නිධන්ගලට ගොස් කැලෑව තුළ කරන මහා පරිමාණ නිධන් ගොඩදැමීම පිළිබඳ රටට හෙළිකළ ගමන කිසිදා අමතක නොවේ. (2010-05-02 ඉරිදා ලංකාදීපයේ එම ගමන පළ විය.)
මෙම ගමන් පිටත්වීමට ප‍්‍රථම යන මාර්ග සිතියම්ගත කළ නමුදු බදුල්ල හා නුවර කෙටි කැලෑ මාර්ගය පිළිබඳ නිශ්චිත ගමන් මාර්ගයක් ගැන දැනුමක් අපට නොවීය. එහෙත් 1766 සකසන ලද  ඕලන්ද සිතියමක් හා එතරම් ප‍්‍රචලිත නොවූ සන්දේශ කාව්‍යයක් වන බදුල්ලේ සිට මහනුවර දක්වා වන්දනා කරුවකු ගමන්කර මග සලකුන නැමැති කාව්‍ය සංග‍්‍රහය අප සතු අතර මෙම මාර්ගයේ විස්තර එතුලින් සොයාගැනීමට අපට හැකිවේයයි අප බලාපොරොත්තු වෙමු.
1630 දී කුස්තන්තිනු ද සා යටතේ පෘතුගීසීන් බදුල්ල නගරය වැටලීමට මහනුවර කඳවුරු බැඳසිටි හමුදා හා එක්ව එවකට දිතියතිලක පුරයවූ හඟුරන්කෙතින් පිටත්ව බෙලිහුල් ඔයෙන් හා හාල් ගරනා ඔයෙන් එතෙරව පරණගමත්, තුප්පිටියත් පසුකොට බදුල්ල අලූගොල්ල කඳුමුදුනට පැමිණ කඳවුරු බැඳගෙන ඇති බව ඉතිහාසය සාක්කිදරයි.  ඕලන්දයෝ නුවර බදුල්ල මෙම කෙටි මාවත පිළිබඳ හොඳින් දැන සිටියහ. බදුල්ලට පැමිණීමට ප‍්‍රථම ඔත්තුකරුවන් යොදා උඩරට ගම් ප‍්‍රදේශ පිළිබඳ හොඳ දැනුමක් ඇති අයගෙන් මේ පිළිබඳ කරුණු අසා 1766 දී සකස්කරන ලද සිතියමක මෙම මාර්ගය පැහැදිලිව දැක්වේ.
කැටවල හන්දියෙ හමුවන ඉපැරණි අම්බලම මෙම මාර්ගයේ පැමිණි පිරිස් ගිමන් නිවා ගන්නට සකසා ඇතැයි ද එය අවු. 100 කට වඩා පැරණියයි ද කැටවල හන්දියේ දී හමුවූ වැඩිහිටියන් කිහිප දෙනකුම පැවසූ අතර එය වර්ථමානයේ ද ප‍්‍රයෝජනයට ගනී.
කැටවල සිට පානාකන්නිය ගම්මානය වෙත දිවෙන මාර්ගයේ කිලෝමීටර් 04 ක් පමණ ගමන් කළ පසු අලූතින් ඉදිවෙන නුවර බදුල්ල රජමාවතට පිවිසිය හැකිය. එවකට සිටි මාර්ග අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2007 වර්ෂයේදී මෙම මාර්ගය ඉදිකිරීමේ කටයුතු අරඹා ඇති බව මාර්ගය ඉදිකිරීමේ පුවරුවේ සඳහන් වෙයි.
මෙම මාර්ගයට කිලෝමීටර් කිහිපයක් ඉදිකර වර්තමානයේ නතරකොට දමා ඇතත් ඉදිරියේ දී මාර්ගය කඩිනමින් සකස් කරනා බව බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජල කළමණාකරන හා වාරිකර්මාන්ත අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පසුගිය දිස්ත‍්‍රික් සම්බන්ධීකරන කමිටුවේදී පැවසීය. මාර්ගය සෑදීම මගින් ඉතා කෙටි කාලයකින් නුවරට පිවිසිය හැකිය. අප ගමන් කරන මාර්ගය ද අලූතින් හැදීමට සලකුනු කරන ලද මෙම මාර්ගයද  සමාන්තරව විහිදී යයි. අපි මාර්ගය දිගේ තවත් කිලෝමීටර් කිහිපයක්ම ඉදිරියට ගමන් කරන්නට වීම වලගම්බා රජු සමයේ ඉදිකරන ලද යයි සැලකෙන ඉපැරණි බෝගොඩ රජ මහා විහාරයේ දැවමය ලී පාලමද බෝගොඩ විහාරයද ඈතින් දිස්වන්නට විය.
වර්තමානයේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මෙම ලී පාලම නැරඹීම සඳහා පැමිණෙන මාර්ගය දුෂ්කර බැවින් සංචාරකයන්ගේ නෙත එදෙස ගැටෙන්නේ ඉතා අඩු වශයෙනි. ඇටම්පිටියේ රාහුල හිමියන් වර්තමානයේ මෙම විහාරයේ විහාරාධිපති හිමියන්ය.
බෝගොඩ විහාරය පසුකර තවත් කිලෝමීටර් කිහිපයක් යත්ම උමා ඔය හරහා සුදු ජාතිකයන් විසින් 1919 වර්ෂයේ සාදන ලද දිගින් මීටර් 30 ක් තරම් වූ දැවැන්ත යකඩ පාලම හමුවෙයි. පාලම වර්ෂ 92 ක් පැරණිය.
උමා ඔයෙන් එතෙර වීමට නම් තැනින් තැනින් දිරාගිය එමෙන්ම හිඩැස් අතුරින් අඩි 100 ක් 150 ක් තරම් ගැඹුරින් වතුර පෙනෙන ජීවිතයත් මරණයත් අතර භයානක ගමනකින් කළු පාලම තරණය කළ යුතුය. හලාබේ ගම්මානයේ වැසියන් උමා ඔයෙන් එතෙරවීම සඳහා මෙම පාලම ප‍්‍රයෝජනයට ගනී. පාලමෙන් එතෙර හලාබේ ගම්මානයද මෙතෙර පනාකන්නිය ගම්මානයද වන අතර දෙගම් වැසියන් ගොවිතැනින් ජීවත්වන අතර සරුසාර ගම්මිරිස් වගාව ඔවුන්ගේ අතමිට සරුකරවයි.
මෙම පාලම පිළිබඳ පනාකන්නිය ගම්මානයේ අවු 85 ක් වයසැති ආර්.එම්. බණ්ඩාරමැනිකා මෙසේ පැවසීය. ඉස්සර මෙම පාරේ මිනිසුන් නුවරට ගිය බව අපේ අම්මා කියා තිබෙනවා. නුවර මිනිසුන් බදුල්ල මුතියංගණ විහාරය වඳින්න මෙම පාරේ යනවා දැකලා තියෙනවා. අවු. 70 කට විතර කලින් පාරේ පිරිත් කිය කියා තමයි යන්නේ. දැන් මිනිස්සු මෙම පාර භාවිත කරන්නේ නෑ පාර කැලෑවැදිලා. සුද්දෝ අශ්වයන් පිටින් ගියා කියලා අහලා තිබෙනවා. අපි මෙම පනාකන්නිය ගමේ මුල් පදිංචි කරුවන්. මේ ගමනට පනාකන්නිය කියා හැදිලා තිබෙන්නේ වලගම්බා රජු මෙම ගම්මානය මැදින් යන දිනක හිස පීරූ පනාව අමතක වෙලා ගිහිල්ලා තිබෙනවා. නැවත නාරංගල කඳුමුදුනේදී හිස පීරන්න බලනකොට පනාව තිබිලා නෑ එතකොට රජුට මතක්වෙලා තිබෙනවා පනාව කන්ඩිය උඩ තිබුවා කියා පනා කන්ඩිය පසුව පනා කන්නිය වී යැයි පැරණි මිනිසුන් කියනවා.
මම කෙලි කාලේ හාල් සේරු නවයක් ගත්තේ රුපියලකට. රුපියලක කුම්බලා කරවල ඉල්ලූවාම කරවල කූරියෝ තුන් හතර දෙනෙක් දෙනවා. තනිවම ගෙදර ගේන්න බැරි තරමට බරයි යයි බණ්ඩාරමැණිකා පවසන්නීය. පනාකන්නිය ගම්මානයේ සිට යකඩ පාලම තෙක් කිලෝමීටර් 03 ක් පමණ වන අතර එය ඉතා ජනශූන්‍ය ප‍්‍රදේශයක් වෙයි.
අපි දැවැන්ත යකඩ පාලමින් එතෙරව උමා ඔයට සමාන්තරව ඔය පහළට ගමන්කරන්නට වීමු. මධ්‍යහනය පසුවී හෝරාවක් පමණ ගෙවී ගොස් ඇත. අප ගමන් කරන ප‍්‍රදේශයේ උමා ඔය පළලින් අඩි 70 ක් පමණවෙයි. එතරම් ප‍්‍රචණ්ඩ ස්වරූපයකින් තොරව ඉතා සාන්ත ගමනින් වතුර ගලා බසියි.මේ වන විට අපි නොනැවතී කිලෝමීටර් 35 ක් තරම් දුරක් උදෑසන සිට දුරගෙවාගෙන පැමිණ සිටිමු. තෙහෙට්ටුව අධික බැවින් මදක් නැවතී ඇඟපත සෝදා ගමු යයි යෝජනා කළේ බන්දු විසිනි. ගමන්මලූ පසක දමා ඔයට බැස වතුර දෝතක් මුහුණට ඉස ගත්තා පමණි. අන්නයයි බන්දු කෑගැසීය.
එවිටම ඔයෙන් වතුර ගැනීමට ආ යුවතියක් ආපසු දිව යන්නට වූවාය. කුඹුක් සෙවණට වී පවස නිවාගත් අප මදකින් ජනාවාසයක් ඇතැයි අරමුණු ඇතිව යුවතිය පැමිණි පැත්තට අපට ගමන් කරන්න ලැබුණේ මීටර් කිහිපයකි. අප ඉදිරියේ තරුණයන් කිහිප දෙනෙකි ඔවුන් අතේ පොලූ මුගුරුද වූ අතර එකෙකු මැටිතැවරුනු මට්ටම් පොල්ලක් අතැතිව සිටී මෙයාලා තමයි යුවතිය පසු පසින් සිට පිළිතුරු සපයයි.
ආයුබෝවන් මට ප‍්‍රථම බන්දු කීය. ඒ බන්දුගේ ජන්ම ගතියකි. තෙරුවන් සරණයි ආයුබෝවන් නැවත හමුවෙමු ගොඩක් පින් සිදුවේවා යන වචනයන් හදවතින්ම ඔහු නිතර භාවිත කරයි.
බය වෙන්න එපා අප ලංකාදීප පත්තරෙන් අප මේ නුවරට පයින් යන ගමන් මම කීමි.
”පයින්” වැඩිහිටි තරුණයකු පැවසූයේ නළල රැලිකරමිනි.
ඔවු අපි උදේ තමයි පිටත්වුනේ අපි මූණ සෝදාගන්නකොට මේ නංගි බයවෙලා දිව්වා. මම පැවසීය.
පසුගිය දින කිහිපයේදී මෙසේ ගම්වලට පැමිණි තරුණයන්ට සිදුවූ දේ අපි කවුරුත්ම දනිමු.
ආ ඒක තමයි මහත්තයෝ අර මොන යකෙක්ද නිසා අපි පහු ගිය ටිකේ කරදරයෙන් හිටියේ වරදක් වුනා නම් හිතරිදවා ගන්න එපා යයි
එතැන සිටි වැඩිහිටිම පුද්ගලයා අපට පැවසූයේ තේ පානය සඳහා ආරාධනාවක් ද කරමිනි. උමා ඔය අසබඩ මෙම වැසියන්ගේ නිරහංකාරත්වය හා ආගන්තුක සත්කාරය මනාවට කැපී පෙනෙයි. සිරිසේනගේ අලූතින් සාදාගෙන යන නිවෙසින් කිරිබත් කැවුම් හා තේ කෝප්පයක් අපට ලැබුණු අතර ඉදිරි ගමන් මාර්ගය ද අප ඔවුන්ගෙන් අසා දැන ගෙන අපි නැවත ඉදිරියට පිටත් වීමු. වේලාව සවස 5 පමණ විට උමා ඔයේ ඌව පරණගම කෝතලා වළේ වැලි තොටුපොළට සේන්දු වන්නට අපට හැකි විය. මෙම වන විට ගමනේ කිලෝමීටර් 40 ක් පමණ දුරක් අප ගෙවා තිබිණි. බොහෝ දුරක් ඔයේ ගමන් කළ අප ඈත තියාම පෙනුනු නිසා වැලි ගොඩ දාන පිරිස අප දෙස බලන ආකාරයත් අපි දුටිමු ඔවුන් සුහදව අපව පිළිගත්තේය.
රාත‍්‍රී සමයේ වැලි පොලේ වාඩියට ආ අද්භූත අමුත්තා හා නැටුම් ගැයුම් රැඟුම් මැද වාඩියේ රාත‍්‍රිය ගත කළ අයුරු
ලබන සතියට
ඉදිකරන ලද යකඩ පාලම
කෝතලාවළේ වැලි තොටුපළ
වැලිතොටුපළේ වාඩිය

බෝගොඩ දැව පාලම
කැටවල හන්දිය
කැටවල අම්බලම

Sunday, May 15, 2016

සොඳුරු මිටියාවතේ ආරුක්කු යෝධයා

www.saaravita.lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. 09-05-2016


2016-05-06-ent-73
අද යමු වික්ටෝරියා වේල්ල බලන්න. පොඩි කාලේ ඉස්කෝලෙන් එක්කගෙන යද්දී ලොකු ආසාවකින් ගියාට පස්සේ දැන් ළමයි ලොකු වුණාම මෙහෙම තැන් බලන්න යන්නේ හරි අඩුවෙන්. වික්ටෝරියා වේල්ලේ ඡායාරූප නම් ඕනෑතරම් දැකලා ඇති. ඒත් මේ වේල්ල යට තියෙන හරිම අපූරු කතා නම් අහලා නැතිව ඇති. කවුරුත් දන්නවා වික්ටෝරියා වේල්ල හැදුවේ මහවැලි ගඟට, හුළු ගඟ එක්වන ස්ථානයට පහළින් පැරුණි වික්ටෝරියා ඇල්ල පිහිටි ස්ථානයේ කියලා. පොඩි කාලේ ඉස්කෝලෙන් මේක බලන්න ගියාම ඕක ආයෙත් අමතක නොවෙන්නම කියලා දුන්නා. වික්ටෝරියා වේල්ල හා ඉන් අනතුරුව මහවැලි ගඟේත් හුළු ගඟේත් ජලය එකතුවෙලා වික්ටෝරියා ජලාශය සෑදීම පිටිපස්සේ අතීත කතා ගොඩයි. එදා මේ වේල්ල හදන්න කලින් හුළු ගඟ ගලාගෙන බැස්සේ තෙල්දෙණිය නගරය මැදින්. මේ ජලාශය මැදවතුර හිඳිලා ගියාම එදා තෙල්දෙණිය පාලම, පැරුණි තෙල්දෙණිය නගරය එහෙම අපූරැවට බලන්න පුළුවන්. මේ නගරය හා ජලාශයට යටවුණ අක්කර 7000ක ජීවත් වූ පිරිසගෙන් තමයි අද දවසේ කුණ්ඩසාලේ, රජවැල්ල හා කරලියැද්ද කියන නගර පිරිලා තියෙන්නේ. මේ නගර ආශ්‍රිතව ජීවත් වන දරැවෝ තමන්ගේ මහගෙවල් අර යෝධ ජලාශයට යටවෙලා කියලා දන්නෙත් නැතිව ඇති.
1980දි වැඩ පටන්ගත්ත වික්ටෝරියා වේල්ල සෑදීම අවසන් වුණේ අවුරැදු 4කින් 1984 අවුරැද්දේ. රැපියල් කෝටි නවසීයකට ආසන්න මුදලක් මේකට ඒ කාලේ වැයවෙලා තියෙනවා. රැපියලේ වටිනාකම එක්ක බලද්දී මේක අද දවසේ නම් කෝටි අටදාහක් තරම් වටිනවා වෙන්න පුළුවන්. එහෙම බැලුවම ලංකාවේ මෙතරම් මූල්‍ය වටිනාකමක් ඇති වෙනත් මිනිස් නිර්මාණයක් තියේද මන්දා, පස්සේ 1985 අෙප්‍ර්ල් 12 වැනිදා, සිංහල අලුත් අවුරැද්ද කටමුල, බ්‍රිතාන්‍ය අග‍්‍රාමාත්‍යවරිය මාග‍්‍රට් තැචර් මැතිනියගේ ප‍්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කළා. වික්ටෝරියා ජලාශයේ විශාලත්වය සඳහන් කරනවා නම් වේල්ලෙහි දිග ප‍්‍රමාණය මීටර් 520ක්. ඒ කියන්නේ වාහනේකින් යනවා නම් කිලෝමීටර් බාගයක් දුර වේල්ල උඩින් යන්න වෙනවා. වේල්ලෙහි උස මීටර් 122ක්.
ජලාශය සෑදීමේ කටයුතු සංකීර්ණ නිසාම මෙහි අධීක්ෂකයින් තීරණය කළාලු. සමස්ත කටයුතු කොටස් 14කට බෙදලා වෙන වෙනම කොන්ත්‍රාත් දෙන්න. ඒ අතරින් භාරදුරම වැඩේ වුණු වේල්ල සෑදීමේ කටයුත්ත භාරගත් සමාගම ලොවට නව සොයාගැනීමක්ද කළේ වික්ටෝරියා වේල්ල නිසාවෙන්. ඒ ස්වයංක්‍රීයව විවෘතවන වාන් දොරටුය. එහෙම විවෘත වෙන වාන් දොරටු 8ක් වේල්ලේ තියෙනවා. එදා වේල්ල හදන්න කොතරම් ඔවුන් කැපවුණාද කිව්වොත් ෙව්ල්ල හදන්න සිමෙන්ති මිශ්‍රණ කළේ තනිකරම අයිස් වතුර වලින් විතරයි. එහෙම දිය කරන සිමෙන්ති ඉතාම ඉක්මනින් සවිවෙනවා. ඒ හින්දා මිශ්‍රකළ සිමෙන්ති ක්ෂණිකව තත්ත්පර ගණනකින් වේල්ලට යවන්න ඔවුන් භාවිත කළේ කේබල් ක්‍රමයක්. මේ සඳහා විශාල වානේ කේබලයක් එදා පාවිච්චි කළා. ඒ කේබල් එකේ කොටසක් අදටත් සුරක්ෂිත කරලා තියෙනවා.
වික්ටෝරියා වේල්ල හදලා එකතුකරන ජලය පාවිච්චි කරලා රටට දෙන ලොකුම තෑග්ග තමයි ජලවිදුලිය. වික්ටෝරියා විදුලි බලාගාරය කියන්නේ ලංකාවේ ලොකුම ජලවිදුලි බලාගාරය. වික්ටෝරියා වේල්ලේ එක කෙළවරක තියෙන බෝලගල කන්ද යටින් තමයි ජලාශයේ ජලය විදුලි බලාගාරයට ගෙනියන උමඟ පටන් ගන්නේ. ඒකට මීටර් 6ක විශ්කම්භයක් තියෙනවාලු. ඒක එහෙම කිලෝමිටර් 5.4ක් ගිහිල්ලා තව උමගවල් තුනකට බෙදෙනවාලු. මේවා ඔක්කොම මහ පොළොව යට. අපිට පෙනෙන්නේ නෑ. මෙන්න මේ උමඟවල් තුන තමයි ගිහිල්ලා වික්ටෝරියා විදුලි බලාගාරයේ ටර්බයින යන්ත්‍ර 3ට සම්බන්ධ වෙන්නේ. මේ ටර්බයින තුනෙන් මෙගාවොට් 210ක් තනියම හදනවා. ටර්බයින තුනෙන් එළියට එන ජල කඳ ඊට පස්සේ යන්නේ රන්දෙණිගලට. එතනින් රන්ටැඹේට. ඊට පස්සේ මිණිපේ අමුණ හරහා ලොග්ගල් ඔයට, උල්හිටිය රත්කිඳ ජලාශයට යනවාලු. වෙලාවකට පුදුමයි මේ සංකීර්ණ කතාව ඇහුවාම. අපිට මේ විස්තර කියලා දුන්නේ ගුණසේන හෙට්ටිගේ මහත්මයා. ඔහු තමයි වික්ටෝරියා නැරඹුම් මධ්‍යස්ථානයේ දැනුම්වත් කිරීමේ නිලධාරීතුමා.
සිංහලේ අවසන් රජු සුද්දන්ට අසු වූ ඓතිහාසික දුම්බර මිටියාවතේ විශාල ප්‍රමාණයක් මේ ජලාශයට යටකරන්න ඒ සුද්දාටම හැකිවුණා. ඒකත් එක්තරා දෛවයේ සරදමක් වගේ එකක්. එදා කළ කී දෑ නිසාද මන්දා මේ වේල්ල හදන්න පවුම් කෝටි ගණනක මුදලක් ආධාර විදියට (ණය නොවේ) දෙන්නත් එංගලන්තය කටයුතු කළා. වේල්ල බලන්න යනවා නම් ඒ අවට පොඩ්ඩක් ඇවිදලා දුම්බර මිටියාවතේ දැනට සංරක්ෂිත සුන්දරත්වය බලන්නත් අමතක කරන්න එපා. උඩරට රාජධානියේ බොහෝ රාජ්‍ය පාලකයන්ගේ මෙන්ම දළදා මැඳුරේ තේවාකරැවන්ගේ උරැමයද හිමි මෙම දුම්බර මිටියාවතට.

ප්‍රසාද්
www.saaravita.lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. 09-05-2016

2016-05-06-ent-68
2016-05-06-ent-69
2016-05-06-ent-70
2016-05-06-ent-71
2016-05-06-ent-72
2016-05-06-ent-74
2016-05-06-ent-75
2016-05-06-ent-76
2016-05-06-ent-77
2016-05-06-ent-78
2016-05-06-ent-79
2016-05-06-ent-80